2024 වසර අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්වයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව අනෙකුත් විශේෂ අවස්ථා සඳහා ද වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මේ පිලිබඳ උපදෙස් ලබා දී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවයි.

එසේම දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසද ඔහු නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර දැනට රෝහල්වල ඇති ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

එමගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන්ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content