ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි එක් දෙනෙක් (21) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කපිතාන් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු 27 ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වී, 31 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ සාමාජිකයන් වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම සහ මෙම අති දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

මෙහිදී පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් ඇමතූ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ඉතාමත් දුශ්කර පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර අභිමානවත් විශේෂ යාත්‍රා  බලඝණ ලාංඡනය පැළඳි නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන බව ප්‍රකාශ කරන ලදි. තවද, රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් විශේෂ යාත්‍රා  බලඝණ ලාංඡනය පැළඳි නාවිකයන්ගේ ආදරණීය දෙමාපියන් වෙත සිය කෘතඥතාවය පලකිරීමට ද එහිදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් කටයුතු කෙරිණි.

එමෙන්ම, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ නොගැඹුරු මුහුදු කාලපයේ උපායමාර්ගික වශයෙන් විශේෂ පුහුණුවක් ලද කණ්ඩායම් යෙදවීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් 1993 වර්ෂයේදී විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ වූ බවත්, විශේෂ යාත්‍රා බලඝණය අද පවත්නා තත්වයට ක්‍රමිකව වර්ධනය වීම සඳහා ආරම්භයේ සිට විවිධ වකවානුවල එම බලඝණයට අණදුන් අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ නාවිකයින්ගේ දැඩි උනන්දුව හා කැපවීම තීරණාත්මක සාධකයක් වූ බවත් පවසන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ආරාධිතයන් මෙන්ම අද දින ලාංඡන පැළඳි නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

WhatsApp Group

Skip to content