උතුරු පලාතට බලපා ඇති අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් උතුරේ පවුල් 5000 කට අධික ප්‍රමාණයක පුද්ගලයින් 15,000කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදා කලමනාකරන කාර්යාල මගින් පෙන්වා දෙනවා.

උතුරු පලාතේ වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි වන අතර එම ප්‍රමාණයන් දසදහස ඉක්මවන බවටද ආපදා කලමනාකරන නිලධාරීන් පෙන්වා දෙනවා.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන රැසක පවුල් 1027 කට අයත් පුද්ගලයින් 4256 දෙනෙකු ඇතිව තිබෙන ගංවතුර තත්වය හෙයින් පීඩාවන්ට පත්ව ඇති අතර එම ජනතාවගෙන් දහසක ආසන්න පිරිසක් රජයේ පාසල් ඇතුළු ආරක්ෂිත ස්ථානයන්හි රඳවා සිටින බවට කිලිනොච්චිය ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙනවා.

මේ අතර මුලතිව් දිස්ත්‍රීක්කයෙ ජනතාවට වර්ෂාවෙන් මෙන්ම ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දැඩි පීඩාවන්ට පත්ව තිබෙන අතර මුලතිව්හි විශාලතම වැව් වූ මුත්තියන්කඩ්ඩු සහ තන්නිමුරිප්පු වැව ඇතුළු සියලුම වැව් වාන් දැමීම හේතුවෙන් 6000 කට අධික පිරිසක් විපතට පත්ව ඇති අතර පවුල් 500කට අයත් පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් රජයේ පාසල්හි සහ ස්ථීර ගෙඩනැගිලිවල තාවකාලිකව නැවතී සිටින බවටද මුලතිව් ආපදා කලමනාකරන ඒකකය පවසනවා.

විපතට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒමට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශද දිවා රාත්‍රී වෙහෙසෙමින් කටයුතු කරනු ලබනවා.

මේ අතර පීඩාවන්ට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පිසූ ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ආපදා කලමනාකරන නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content