වත්මන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ජාතික රෝහලක් බවට පරිවර්තනය කරන ලද ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වසරක පමණ කාලයක් පුරාවට සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ එම කටයුතුවල ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (23) කරාපිටිය ජාතික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්ව වසරක්  පමණ වන ඉතා කෙටි කාලයක් තුල කරාපිටිය ජාතික රෝහල තුල ක්‍රියාත්මක කර වැඩ අවසන් කරන ලද සියලු සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ අතර, දැනට ක්‍රියාත්මක සහ වැඩ අවසන් කර නොමැති සංවර්ධන ව්‍යාපෘතීන් ද නිරීක්ෂණය කරන ලදී.

එම නිරීක්ෂණයේ දී පැවති යම් යම් අඩුපාඩු නිවැරදි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද අතර, ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන සියලු රෝගීන්ට තදබදයකින් සහ මානසික පීඩනයකින් තොරව සිය ප්‍රතිකාර සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය අවකාශය මෙම සංවර්ධන  කටයුතු අවසන් වීමත් සමග ජනතාවට ලැබෙන බව ද පෙන්වා දෙන ලදී.

නිරීක්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යු.එම් රංග මහතා ඇතුළු රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවති අතර, මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත පසුගිය වසරක කාලය ඇතුළත රෝහලේ පැවති විශාල අඩුපාඩු රැසක් යථාවත් කර ගැනීමට හැකි වූ බවත්, සංවර්ධන ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට හැකියාව ලැබුණ බවයි. එමෙන්ම රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු භෞතික සම්පත් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ලබා ගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට හැකියාව ලැබුණ බව ද පෙන්වා දෙන ලදී.

WhatsApp Group

Skip to content