වවුනියාව,තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට 24 වැනිදා අලුයම ගිනි තබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ(02) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හා වවුනියාව පොලිසිය සිදුකළ පරීක්ෂණ මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

වවුනියාව,කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වන අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද(03) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිසිය පැවසුුුවා.

ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා ඊයේ(02) සවස නියෝග කළා.

පොලිසිය පැවසූවේ අදාළ නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර,පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වැනිදා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වු බවයි.

සැකකරුවන් උපන්දින සාදයක් පැවැත්වු නිවසට පැමිණ නිවැසියන්ට කැපුම් තුවාල සිදුකොට,නිවැසියන් ගෙතුළට ගිය අවස්ථාවේ නිවසට ගිනි තැබීමද සිදුකොට තිබුුුණා.

සිද්ධියෙන් තුවාල ලැබු වයස අවුරදු 02ක පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වවුනියාව රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසුුුවා.

නිවසට ගිනි තැබීමට හා නිවැසියන්ට පහරදීමට මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් පැමිණෙන අයුරු දැක්වෙන සිසිටිවි දර්ශනද පොලිසිය වෙත ලැබී තිබු අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුුුණා.

අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් මත ඝාතන සිදුවීම සිදුකොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබු අතර, සැකකරුවන් ඝාතනයට භාවිතා කළ බව කියන කඩු පහක් ඇතුළු ආයුධ තොගයක් වවුනියාව,වෛරවපුලියන්කුලම වැවේ සඟවා තිබියදී 01 වැනිදා සොයා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එලෙස අත්අඩංගුවට ගෙන තිබුුුණා.

ඝාතනයන්ට අදාළ ප්‍රධාන සැකකරු හා මියගිය සුගන්ධන් නමැත්තා දීර්ඝ කාලයක්  මිතුරන්ව සිට ඇති අතර, අනතුරුව අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් දෙදෙනා අතර විරසකයක් හටගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කොටගෙන තිබුණා.

ප්‍රධාන සැකකරු අනතුරුව කණ්ඩායමකට ඝාතන කොන්ත්‍රාත්තුව බාරදි ඇති බවට අනාවරණ වි ඇති බවද පොලිසිය පැවසුුුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

WhatsApp Group

Skip to content