වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අද (23) අලුයම අදාළ නිවසට කඩා වැදුණු කණ්ඩායමක් නිවසේ පිරිස තියුණු ආයුධවලින් කපා දමා අනතුරුව, නිවැසියන් නිවස තුළට ගිය අවස්ථාවක නිවසට ගිනි තබා ඇති බවයි.

සිද්ධියෙන් 22 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය කාන්තාවගේ දරුවා වන වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවද පොලිසිය කියා සිටියේ.

සිද්ධියෙන් ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද තුවාල ලබා වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට වවුනියාව පොලිස් ස්ථානයට ලද 119 කෙටි පණිවිඩයක්  හරහා පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබෙනවා.

වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය, වවුනියාව පොලිසිය හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩපත්වා තිබෙනවා.

ගිනි තබා ඇති නිවසේ පදිංචි පුද්ගලයා  මුදල් පොලියටදීම හා තවත් ව්‍යාපාර සිදුකොට ඇති බව ප්‍රදේශවාසීන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ මියගිය කාන්තාවගේ දරුවාගේ උපන්දින සාදය පැවැත්වෙමින් තිබු අවස්ථාවක සිදුවීම සිදුව ඇති බවයි.

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content