බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගරය වෙත ගමන් ගත් තරුණියකගේ ගෙල බැදි රන් මාලය කඩා පලාගිය තරුණයන් දෙදෙනෙකු එම වතුයායේ වතු කම්කරුවන් විසින් අල්ලා ගෙන තිබෙනවා.
බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා කියා සිටියේ අදාළ සැකකරුවන් පොලිසිය වෙත අද (10) දින පස්වරුවේ භාරදුන් බවයි.
එලෙස අල්ලාගෙන පොලිසිය වෙත භාරදෙනු ලැබූ සැකකරුවන් දෙදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් සහ 27ක් වන දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නනේ.
සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් බගවන්තලාව නගරයට පැමිණ බ්‍රිඩ්වෙල් වතුයාය වෙත ගමන් කරන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නගරය වෙත ගමන් කරමින් සිටි තරුණියකගේ ගෙල බැදි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය කඩාගෙන පළා ගොස් තිබෙනවා.
සිය රන් මාලය කඩා ගත් පසු කාන්තාව කෑගසා ඇති අතර, එම අවස්ථාවේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් එක් සැකකරුවෙකු අල්ලාගෙන ඇති අතර, අනෙක් සැකකරු පළාගොස් තේ වත්තේ සැඟව සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින්ගේද සහය ඇතිව අල්ලාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කිරීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් සහ ජංගම දුරකතනයක් හමුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවන් බවයි.
හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා හෙට (11) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.