දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එහි ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත වන ප්‍රදේශ නීත්‍යනුකුලව නව ගම්මාන වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය ඉතා වැදගත් හා කාලීන යෝජනාවක් බැවින් ඒ සඳහා මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ ප්‍රතිපත්තිමය එකඟතාවය පළ කෙරිණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී කඳුකරයේ දැනට ජීවත් වන සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීම රජයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් වූ විප්ලවීය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත්ය.

WhatsApp Group

Skip to content