2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මේ දක්වා රුපියල් මිලියන 4.5 ක මුදලක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කිරීම වෙනුවෙන් එක්රැස් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියේ පළමු තරග 13 දී වාර්තා වූ හයේ පහර, හතරේ පහර හා නිලකුණු පන්දු ප්‍රමාණය අනුවයි එම මුදල එක්රැස් වී ඇත්තේ.

මේ වන විට පිතිකරුන් විසින් හයේ පහර 136 ක්, හතරේ පහර 339 ක් එල්ල කර ඇති අතර, වාර්තා වී ඇති නිලකුණු පන්දු ප්‍රමාණය 1176 ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සෑම හතරේ පහරකටම රුපියල් 4000 ක මුදලක් ද, සෑම හයේ පහරකටම රුපියල් 6000 ක මුදලක් ද, සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2000ක මුදලක් ද ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ද ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content