ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශිකයෙකු ඊයේ(19) දින අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් , පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙතම පිටුවහල් කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකි.

ඔහු ඉකුත් 10 වැනි දින අබුඩාබි හී දී හමු වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 26 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකුට, තැරැව්කරුවෙකුගේ මෙහෙයවීම මත සිය ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලාංකික තරුණයා එම ලියකියවිලි උපයෝගී කර ගනිමින් එදිනම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

පසුව මෙම මැලේසියානු ජාතිකයා , ශ්‍රී ලාංකික තරුණයාගෙන් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙනවා.

ඉන්පසුව මොහු ශ්‍රී ලංකාවට පැමිණ, කොළඹ මැලේසියානු තානාපති කාර්යාලය වෙත ගොස් තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ බව පවසා අලුත් ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේ අරමුණෙන් 19 දින පස්වරු 04.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී මෙරටට ඇතුළු වීම සඳහා අවශ්‍ය නිෂ්කාශන කටයුතු සිදු කරගැනීමට යාමේදී , ඔහුට භාෂා උච්චාරණයේ ඇති වූ ගැටළුකාරී තත්ත්වය මත මෙම කරුණු සියල්ල අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම මැලේසියානු ජාතිකයා අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන්, පසුව ඔහු පැමිණි කටාර් ගුවන් සේවා යානයෙන්ම ආපසු දෝහා වෙත රැගෙන යාම සඳහා එම ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ ආපසු පිටුවහල් කිරීම කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඩී.ජේ. වීරසිංහ සහ එච්.එම්.ඩබ්ලිව්. උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ආගමන විගමන නිලධාරී ඊ.ඒ. විජේනායක මහතා කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content