ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්විණ. මෙම යාන්ත්‍රණය රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම පාරිභෝගිකයාගේද ඒකාබද්ධ සහයෝගීතාවයෙන් සකස් කිරීමට සැලසුම් කර තිබෙයි. මේ සඳහා මූල්‍යමය දායකත්වය යුරෝපා සංගමය ලබා දෙන අතර තාක්ෂණික සහය හා සම්බන්ධීකරණය එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සිදු කරයි.

කර්මාන්ත අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම යාන්ත්‍රණය සකස් කිරීමේ මූලික හවුල්කරුවන් වන අතර කාර්මික සංවර්ධන මණ්ඩලය, පාරිභෝගික අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, වෙළෙඳ අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, පුද්ගලික ආයතන ඇතුළු ආයතන රැසක් මෙහි සක්‍රිය හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම තුළින් ආහාර නාස්තිය අවම කිරීම, ආහාරවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම මෙන්ම ඵලදායී ආහාර පාලන පද්ධතියක් ඇති කිරීමට හැකියාව ලැබෙයි. ගොවිපලේ සිට කෑම මේසය දක්වා ආහාරවල තත්ත්වය හා ගුණාත්මක බව පාලනය කිරීම මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම තුළින් අපේක්ෂා කෙරේ.

මෙම සම්මන්ත්‍රණය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ආහාර ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඍජුවම බලපාන බවත්, ආහාර සුරක්ෂිතභාවයේ ගැටළු නිසා වාර්ෂිකව ලොව පුරා මිලියන 600 කට අධික පිරිසක් විවිධ රෝගාබාධවලට ලක්වන බව පැවසීය. සෞඛ්‍ය සම්පන්න රටක් ඇතිකිරීම සඳහා නිවැරදි ආහාර සංස්කෘතියක් රට තුළ පැවතිය යුතු බවත් ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට දායකත්වය ලබා දෙන යුරෝපා සංගමයට , එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට හා ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තුතිය පළ කරන බවත් ප්‍රකාශ කළේය. එසේම නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

WhatsApp Group

Skip to content