මෙරට මුස්ලිම් ජනතාව අද දිනයේ දී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය පවසනවා.
ඊයේ රාත්‍රියේ නව සඳ දැකීම හේතුවෙන මෙලෙස අද දිනයේදී රාමසාන් උත්සවය සමරන බවයි කොළඹ මහ පල්ලිය සඳහන් කළේ.
දින 30 ක් හෝ 29 ක් මෙම උපවාස කාලය පවතින අතර ශ්‍රි ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාස සමය ආරම්භ කරන අතර ඇතැම් මුස්ලිම් ප්‍රජාවෝ තාරකා විද්‍යාත්මක ගණනය කිරීම අනුව රාමසාන් උපවාසය ආරම්භ කරනු ලබනවා.
රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය වනවා.
පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වනු ලබන රාමසාන් උපවාස සමය අල්ලාහ් දෙවියන් විසින් මුස්ලිම් බැතිමතුන්ට අනිවාර්ය කරන ලද සිවුවැනි වගකීම ද වනවා.

මේ අතර උපවාස සමයෙන් පසු මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රාමසාන් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලාංකේය මෙන්ම සමස්ත ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සහ යහපත සෑදෙන ප්‍රීතිමත් රාමසාන් උත්සවයකට සුභාශිංසන පිරිනමන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද රාමසාන් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ අතීතයේ සිට ඉස්ලාමීය සහෝදරත්වය සමඟ පැවැති බැඳීම ලොවට ආදර්ශයක් බවයි විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දෙන්නේ.
මෙම මැතිවරණ වසරේ ඒ සහෝදරත්වයේ බැඳීම පළුඳු කිරීමට විවිධ අන්තවාදීන් උත්සාහ දැරිය හැක බවත්, කෙසේ නමුත් එම සහෝදරත්වය තවදුරටත් පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩ නොතැබිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

WhatsApp Group

Skip to content