2024 වසරේ සෙංකඩගල වෙසක් කලාපය මෙවරද අති උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු සුදානම් කරන බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ  ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව පැවැත්විමට නියමිත වෙසක් කලාපය පිළිබදව සාකච්ඡාවක් 27දා පස්වරුවේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි දර්ශනපති පුජ්‍යපාද මහවෙල රතනපාල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා යටතේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.

මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලු රාජ්‍ය ආයතන සහ සංවිධාන එක් ව සංවිධානය කරනු ලබන සෙංකඩගල වෙසක් කලාපය අංශ ගණනාවක් යටතේ පැවැත්විමිට මෙහිදි තිරණය විය.
මෙහිදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ පසුගිය වසරේද විවිධ බාධක මධ්‍යයේ වෙසක් කලාපය සාර්ථකව පැවැත්වු බවත් මේ වන විට රටේ ආර්ථික තත්වය ඇතුලු යහපත් තත්වයට පත්ව ඇති හෙයින් වඩාත් හොද සංවිධානයකින් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙමින් මෙම කටයුතු සිදු කළ යුතු බවත් රාජ්‍ය වෙසක් උත්සවයද මෙවර මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්විම සදහාද කටයුතු සුදානම් බවත් ඊට සමගාමිව මහනුවර වෙසක් කලාපයද සාර්ථකව පැවැත්විය යුතු බවද පැවසිය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ විවිධ සංවිධාන , අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පහන් කුඩු නිර්මාණ ද පාසල් සහ රාජ්‍ය නිලධාරින් ඇතුලු අනෙකුත් සංවිධාන මගින් භක්ති ගී ප්‍රසංග ඇතුලු අංග රැසක් එක් කිරිමට නියමිත අතර මෙම සෙංකඩගල වෙසක් කළාපය වෙසක් පුන් පොහෝ දින මහනුවර නගරය කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන අතර, ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ වෙසක් කලාපය, සහස් උයන පරිශ්‍රයේ වෙසක් කලාපය, අස්ගිරි පිරිවෙන පරිශ්‍රයේ වෙසක් කලාපය, විද්‍යාර්ථ විද්‍යාලය පරිශ්‍රයේ වෙසක් කලාපය, කටුගස්තොට පරිශ්‍රයේ වෙසක් කලාපය, සිංහල වෙළද පෙරමුණ සම්පත් ශාලාව පරිශ්‍රයේ වෙසක් කලාපය, බෝගම්බර පරිශ්‍රයේ වෙසක් කලාපය, මහනුවර වැව රවුම පරිශ්‍රයේ වෙසක් කලාපය,මහනුවර දුම්රියපල පරිශ්‍රයේ වෙසක් කලාපය ලෙස වෙසක් කළාපය වෙසක් කළාප නවයකින් මෙම වෙසක් කලාපය සමන්විත වන බවද මෙහිදී අනාවරණය විය.

WhatsApp Group

Skip to content