ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. එමෙන්ම අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පිට කොන්ද ආශ්‍රිතව සිදු කෙරුණු ශල්‍යකර්මයක් නිසා පසුගිය මාස කිහිපයේ දී ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් මෙම තරගාවලිය සදහා ද නම් කර නැහැ.

ඒ අනුව ඔහුගේ ස්ථානය වෙනුවෙන් මෙතෙක් එක් එක්දින ජාත්‍යන්තර තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති කායිස් අහ්මඩ් සංචිතයට නම් කර තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි.

තෙවැනි දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය දෙවැනි ඉනිමට පන්දුවාර 75ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.

ඊබ්‍රහිම් සද්‍රාන් පන්දු 217දී ලකුණු 101ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 198ක් රැස් කළා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 439ක් රැස් කළා.

ඒ අනුව මේ වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 42ක් පිටු පසින් පසුවනවා.

WhatsApp Group

Skip to content