එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්‍රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්‍රපාතයට ඇද දමනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද සඳහන් කළේය.

2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමගම ජනතාවට ද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා ශක්තිමත් ආර්ථිකයක් සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) පෙරවරුවේ එක් වෙමිනි.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබේ. එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500කි.

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතය.

WhatsApp Group

Skip to content