විවිධ චෝදනාවලට අධිකරණය මගින් ගුවන් ගමන් තහනම් පනවා ඇති පුද්ගලයන් තිදෙනකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ගිය සෙබලෙකු , විදේශ රටවල් වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අද (23) උදෑසන දින ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මොවුන් අතරින් වෙන්නප්පුව උදාසිරිගම පොලිස් වසමේ පදිංචි , සිය බිරිඳගේ දොලොස් හැවිරිදි දියණිය දූෂණය කර ඉතාලිය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි 49 හැවිරිදි සුජීව ප්‍රසන්න ප්‍රනාන්දු නැමැත්තෙකු ද වනවා.

මෙම පුද්ගලයා ඉතාලියේ පදිංචිව සිට කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ තිබූ අතර, ඔහුට දියණියන් සිව් දෙනෙකු සහ එක් පුතෙකු සිටින බව පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම 09/22 දින වෙන්නප්පුව උදාසිරිගම පොලිසිය වෙත වාර්තා වීමත් සමගම , මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් තිබූ අතර , පොලිසිය මේ පිළිබඳව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර ගුවන් ගමන් තහනමක් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පුද්ගලයා අද (23) දින අලුයම ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මීට අමතරව මන්නාරම සිලාවතුර මහේස්ත්‍රාත් අධිකරණය , මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයන් තිදෙනකු ද , රටින් පළා යාමට අද(23) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබුණා.

WhatsApp Group

Skip to content