ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස  සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් රට වෙනුවෙන් ජීවිතය පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය මත එම සේවාවන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත.
සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී  ඇතැම් අවස්ථාවන්හි රණවිරුවන් හට ඇති වූ අපහසුතා පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවීමෙන් පසු ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදි. එම සාකච්ඡාවේ දී කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් සෞඛ්‍ය සේවා ලබා දීමේදී විරුසර වරප්‍රසාද කාඩ් පත හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන් හට ප්‍රමුඛත්වය මත එම සේවාවන්  ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉදිරියට කටයුතු කරනු ඇත.
ඒ අනුව රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී මෙන්ම වෛද්‍ය, දන්ත, අක්‍ෂි, ළමා හා පූර්ව ප්‍රසව සහ අනිකුත් සායනවලදී ද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබන සායනවලදී ද රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට ප්‍රමුඛත්වය ලබාදී ප්‍රතිකාර කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන් මාර්ගයෙන් අදාල රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
රට වෙනුවෙන් ජීවිතය පුදකල හා රණක්‍ෂිතයට පත් වූ රණවිරුවන් වෙත කෘතගුණ  දැක්වීමටත් ඔවුන් විසින් සිදු කල මහත් කැප කිරිම් වලට ජාතියේ ප්‍රණාමය පුදකිරීම සදහා මෙම සුභසාධන කටයුතු සිදු කරනු ලබයි.

WhatsApp Group

Skip to content