අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත් මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ එක් වෙමිනි.

මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක, ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත අතර අප ජලය පිරිසිදු කර මුදා හැරිමේ ඒකකයකින් ද යුක්ත ය.

නිවාඩුවක් සඳහා 2004 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවති සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල් මහතා සුනාමියෙන් දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදුවූ හානිය සියැසින් දැක ගැනීමෙන් අනතුරුව මෙම නව මාතෘ රෝහල ලබා දීම සඳහා ඉදිරිපත් විය.

රෝහල ඉදි කිරිම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි. (රුපියල් කෝටි 357කි)
මුල් අවස්ථාවේ රෝහලේ ඉදිකිරීම් සඳහා වෙන් කෙරුණේ පර්චස් අටසියක් වුව ද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලබා ගැනීම සිදු වූ අතර මේ වන විට රෝහලේ සමස්ථ භූමි ප්‍රමාණය පර්චස් දහසකට ආසන්න ය.

නව මාතෘ රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නවීන ශල්‍යාගාර ඇතුළු පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

ජර්මානු රජයෙන් ලැබුණු මෙම පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content