මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන්  මුරුතවෙල ව්‍යාපාරයේ ගොවි පවුල් රැසකට තම වගාවන් සඳහා ජලය ලබා ගැනීම ඉදිරියේදි ගැටළුවක් වෙන බව එහි ගොවි ජනතාව පවසනවා.

මුරුතවෙල ව්‍යාපාරයට හා ඌරුබොකු ඔය ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 9,000 ට පමණ ජලය සැපයීම ඉදිරියේදී ගැටළුවක් විය හැකි බවයි වීර කැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදලුවාගොඩ මහතා ද සඳහන් කළා.

මුරුතවෙල වැව වසර ගණනාවකින් වාන් දැමීමේ මට්ටමට පැමිණ නැති බව පවසන ඔහු වැඩි දුරටත් කියා  සිටියේ  මේ වන විට වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 13,000 සීමාවට පැමිණ ඇති බවයි.ව්‍යාපාරය යටතේ වගා කොට ඇති කුඹුරු වලට ප්‍රමාණවත් පරිදි ජලය ලබා දීමට  මෙම ජල ධාරිතාවය ප්‍රමාණවත් නොවන බවත්, ජල කළමනාකරණයක් තුලින් ගොවීන් ගේ කුඹුරු ටික ආරක්ෂා කර ගැනීමට ඔවුන් උත්සහ කරන බවත් ඔහු ප්‍රකාශ කළා. තවද  ඉදිරි මාසය තුළ වැවට ජලය නොලැබුනහොත්  කුඹුරු වලට වතුර දිමේ ගැටළුවක් ඇති වන බවත් ඔහු ප්‍රකාශ කළා.

මුරුතවෙල වැවෙන් පවුල් 15,000 ක් සදහා පානීය ජලය ලබා දෙන අතර ඒ සඳහා වැවේ ජලය රදවා තබා ගත යුතු බවත්, ජලය අර පිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට තමන් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content