දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති.

හෙට රැස්වන පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ගත යුතු වෙනවා.

ඊයේ පස්වරුවේ ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද යෝජනාවට පාර්ලිමේන්තුවේදී විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඊයේ රැස්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

WhatsApp Group

Skip to content