අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දු වී තිබුණද විදුලි කප්පාදුව සිදු වීම නිසා අදාළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුන්ගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබෙන බවත් මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වන්නේ .

ඒ අනුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමෙන් ඉල්ලා සිටියා.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා අනුමැතිය පළ කර නොමැති බවයි.

මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී විදුලි බිල ඉහළ දැමීම සහ විදුලි කප්පාදුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සිය අදහස් පළ කළා. ඒ මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ වගකීම ජනතාවට සහන සැලසීම මිස ජනතාව පීඩාවට පත් කිරීම නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/02/AJITH-MANNAPPERUMA-EDIT.mp3?_=1

කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට තමන් අකමැති වුවත් එය සිදු කළ යුතුව ඇති බවයි.

WhatsApp Group

Skip to content