ඉන්ධන මිල අද(31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරෙන බව සිපෙට්කෝ සමාගම පවසනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 8කිනුත් ලංකා සුපිරි ඩීසල් රුපියල් 7කිනුත් පහළ දමා තිබෙනවා.

එසේම ලංකා භූමිතෙල් ලීරයක මිල රුපියල් 26කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 366ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව රුපියල් 371ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ යාමත් සමගින් මෙතෙක් රුපියල් 358ක්ව පැවැති ලීටරයක මිල රුපියල් 363 දක්වා ඉහළ දමා තිබෙනවා.

රුපියල් 464ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 456ක් දක්වා අඩු වී ඇත්තේ රුපියල් අටකිනි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දැමීමත් සමගින් මෙතෙක් රුපියල් 475ක්ව පැවැති ලීටරයක මිල රුපියල් 468ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ලංකා භූමිතෙල් මිල රුපියල් 26කින් ඉහළ දැමීමත් සමගින් මෙතෙක් රුපියල් 236ක්ව පැවැති ලීටරයක මිල රුපියල් 262ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර සිපෙට්කෝ සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ සිපෙට්කෝ සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සමගාමීව වන අයුරිනි.

ඒ අනුව ලංකා IOC ඉන්ධන පිරවුම් හල්වලද අද මැදියම් රැයේ සිට ඉන්ධන අලෙවි කෙරෙන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 371ක මිලකටත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 363ක මිලකටත්ය.

එසේම භූමිතෙල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ යාම හේතුවෙන් ලංකා IOC සමාගම අයත් ඉන්ධන පිරවුම් හල්හි එහි නව මිල වන්නේ රුපියල් 262ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 456ක් දක්වාත් සුපර් ඩීසල් රුපියල් 468ක් දක්වා පහළ දමා ඇත්තේ පිළිවෙළින් රුපියල් අටක් සහ රුපියල් හතක් ලෙසිනි.

 

WhatsApp Group

Skip to content