පසුගිය වසරේ වසා දැමුණු හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වනදා යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන් පවසනවා.

ඒ අනුව පළමු වසරේ සිසුන් පමණක් අධ්‍යයන කටයුතු සඳහා කැඳවන බවයි උන්වහන්සේ කියා සිටියේ.

පසුව අනෙකුත් වසරවල සිසුන්ගේද අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව උපකුලපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කරනු ලැබුවේ නවක වද සිද්ධියක් මුල් කරගනිමින්.

මේ අතර, සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 2020 / 2021 අධ්‍යයන වසරවල සිසුන් හැර අනෙකුත් සියලු සිසුන් සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ තීරණය කළා.

විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පසුගියදා නේවාසිකාගාරයට ඇතුළු වී පළමු වසරේ සිසුන්ට පහරදී ඇත්තේ කොණ්ඩ කපා නොමැති බව පවසමින්.

WhatsApp Group

Skip to content