වරෙන්තුවක් ද සහිතව රියදුරු බලපත්‍රය ද නොමතිව බීමත්ව යතුරු පැදියක් ධාවනය කළ ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘධි සංවර්ධන නිලධාරි වරයාට රුපියල් 75,000 ක දඩයක් නියම කොට බරපතළ වැඩ සහිතව මාස දෙකක සිර දඬුවමක් ද ගම්පොල මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කර තිබෙනවා.

මෙසේ දඩ හා සිර දඬුවම් නියම වූයේ ගම්පොල නුවර පාරේ අංක 12 ස්ථානයේ පදිංචි මෙරිඤ්ඤගේ මංගල පුෂ්පකුමාර ප්‍රනාන්දු නැමැති අයටයි.

නවලපිටිය ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුද වන මොහු මෙවර ද ඡන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා.

ඔහු ගඟ ඉහළ කෝරළේ උලපනේ වසමේ සමෘධි සංවර්ධන නිලධාරි වරයා ලෙස සිටිමින් ඡන්ද අපේක්ෂයකු වීම නිසා ගම්පොල කලාපයට මෙසේ මාරු කර සිටියදී මෙම වරදට හසුව තිබෙනවා.

නඩු අංක 10318 /18 යටතේ ගම්පොල පොලිසිය මගින් මෙම නඩුව පවරා තිබූ අතර 2018 වසරේ සිටම ඔහු වරින් වර උසාවිය මග හැර තිබීම නිසා වරෙන්තු වී තිබූ බව ගම්පොල පොලිසිය පවසනවා.

සමෘධි නියාමක වරුන් සඳහා රජය මගින් ලබාදී තිබු මෙම යතුරුපැදිය සඳහා රක්ෂණ සහතිකයක් නොමැතිකම ,ආදායම් බලපත්‍රය නොමැතිකම හා රියදුරු හට බලපත්‍රයක් නොමැති කම ආදී කරුණු සඳහා මෙම දඩ මුදල නියම කර තිබුණි.

මිනිසුන් හට මොහු විවිධ ආකාරයේ පීඩාවන් ද එල්ල කර තිබීම සමඟ මොහු බන්ධනාගාර ගත කිරීම ඇසු ගම්පොල, ඇත්ගාල ,ජයමාලපුර ආදී ප්‍රදේශ කිහිපයක මිනිසුන් රතිඤ්ඤා දල්වා සතුටු වූ අයුරු ද වාර්තා වුුුනා.

WhatsApp Group

Skip to content