පසුගිය කාලය තුළ ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍යවලින් අයුතු ලෙස ආදායම් උපයා ඇති ව්‍යාපාරිකයින් සම්බන්ධව හෙළිදරව් වී ඇති බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතීමය පියවර ගත යුතු බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත පර්යේෂණ පත්‍රිකා හඳුන්වා දීමේ වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම චෝදනාව එල්ල වී ඇති ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගික සංවිධානවල නියෝජිතයින් සහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එකම මත වේදිකාවකට කැඳවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

දේශීය බිත්තර පිළිබඳවද අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලය තුළ දේශීය බිත්තර නිෂ්පාදනය අවම වී තිබුණත්, වාර්ෂිකව බිත්තර මිලියන 15ක් බැගින් අපනයනය කිරීම නිසා අපනයන වෙළඳපොළ අහිමි වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවයි. එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පසුගිය 2023 වර්ෂය තුළ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද පර්යේෂණ අතරින් පර්යේෂණ 05ක ප්‍රතිඵල සොයා ගැනීම් සහ නිර්දේශ මෙහිදී ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත ගැටලු සහ ප්‍රතිචාර, දේශීය කෘෂිකාර්මික අංශයේ ගොවීන්ගේ මුල්‍ය සාක්ෂරතාවය, වියළි කලාපයේ කිරි නිෂ්පාදනයේ තාක්ෂණික කාර්යක්ෂමතාවයට බලපාන ගැටලු , ශ්‍රී ලංකාවේ සැකසූ පළතුරු සහ එළවළු කර්මාන්තය, ශ්‍රී ලංකාවේ දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වයන් යන පර්යේෂණ 05 එළි දැක්වීය.

WhatsApp Group

Skip to content