අලව්ව සහ ග්‍රෑන්ඩ්පාස් නව කැලණි පාලම යන ප්‍රදේශයන් දෙකේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.

පොලිසිය කියා සිටියේ තියුණු ආයුධවලින් පහරදීමෙන් මෙම ඝාතන දෙකම සිදුව ඇති බවයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශයේ නව කැලණි පාලම ආසන්නයේදී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක් පමණ වූ පුද්ගලයෙකි.

ඝාතනය සිදු කළ සැකකරුවන් විසින් මරණකරුගෙන් ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා සිටීමේදී ඇති වූ බහින්බස්වීමක් මත තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18ක් වන කොළඹ 14 හා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

ඝාතනයට ලක්වූ තැනැත්තාගේ මෘතදේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර අලව්ව, මාබෝපිටිය ප්‍රදේශයේදී ද ඊයේ සවස නිවසක් තුළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බවට අලව්ව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 77ක් පමණ වූ මාබෝපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඝාතනය සිදු කළ සැකකරු මරණකාරියගේ බාල පුතා බවයි පොලිසිය පවසන්නේ.

ඔහු බීමත්ව පැමිණ තම මව සමග බහින්බස්වීමක් ඇතිකර ගැනීමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂනයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය කුරුණෑගල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනනවා.

WhatsApp Group

Skip to content