ඩුබායි හා ඕමාන් රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ බත්තරමුල්ල නගරයේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකාරිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (7/3) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තැනැත්තිය විසින් ඉහත රටවල කර්මාන්ත ශාලාවල හා රියදුරු රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා හිමි නොවූ බවට කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි 14ක් ලැබී තිබුණි. එම පැමිණිලිවලට අනුව ඇය විසින් වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ට ආසන්න වේ.

කාර්යාංශය වෙත ලද පැමිණිලි 2ට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අදාළ ආයතනයේ හිමිකාරිය ඊයේ දින කාර්යාංශය වෙත කැඳවු අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ආයතනය විසින් කාර්යාංශයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ඩුබායි සහ ඕමාන් යන රටවල කර්මාන්ත ශාලාවල හා රියදුරු රැකියා ලබාදීම සඳහා මෙසේ වංචනිකව මුදල් අයකර තිබෙන අතර, අදාළ ආයතනයේ රැකියා බලපත්‍රය කාර්යාංශය විසින් මේ වන විටත් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින (7/4) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content