ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ  අද දින (2024 අගෝස්තු 30) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හැට පහක (1865) පමණ තොගයක් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ එම මසුන් තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, අද දින (2024 අගෝස්තු 30) නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, සැකසහිත මසුන් එක්රැස් කරන ස්ථානයක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන පෙට්ටි හැත්තෑ දෙකක (72) අසුරණ ලද මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හැට පහක (1865) තොගයක් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු සමඟ එම මාළු තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු අවුරුදු 39 ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ මසුන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

WhatsApp Group

Skip to content