පොදුරාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩමුළුව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති එහි සමාරම්භක උත්සවයෙන් අනතුරුව කොළඹ දී ආරම්භ විය.
ඉන්දියාව, පකිස්තානය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්රේලියාව ඇතුළු පොදුරාජ්ය මණ්ඩලීය රටවල් 15ක නියෝජිතයන් 40ක පමණ පිරිසක් එක්ව සිටින මෙම නේවාසික පුහුණු වැඩමුළුව මේ මස 11 සිට 14 දින දක්වා කොළඹ දී පැවැත්වේ.
පොදුරාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මෙහෙයුම් ප්රධානී මැතිව් සලික් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ වැඩමුළුවේ දී පෞද්ගලික ඉලක්ක සැකසීම, අවස්ථා සහ අභියෝග, පෞද්ගලික කළමනාකරණය, නායකත්වය සහ කළමනාකරණ කුසලතා සහ සංස්කෘතික බුද්ධිය ඇතුළු මාතෘකා පිළිබඳ විවිධ සැසිවාර සහ උපදේශන පැවැත්වේ.
තවද, ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් නිලධාරීන් සදහා පුද්ගලික කළමනාකරණය පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ස්වයං විනය සහ කළමනාකරණය පවත්වාගැනීම ඇය අවධාරණය කළ අතර රාජකාරී ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය තුලනය කරමින් පුද්ගල යහපැවැත්ම කළමනාකරණය කර ගැනීම පිළිබඳව ඇය මෙහි දී කරුණු පෙන්වා දුන්නාය.

WhatsApp Group

Skip to content