පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී මියගිය පුද්ගලයා මොරගහහේන ප්‍රදේශයේදී සිදු වු ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු බවට අනාවරණය වී තිබෙනවා.

ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සේවය කරන සෙබලෙකු වන මොහු 33 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුරදි අංගමුව පොලිස් මාර්ග බාධකය අසලදී සැකකරු ගමන් කළ යතුරු පැදිය නවත්වන ලෙස දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් අණ නොතකා යතුරු පැදිය ධාවනය කළ සැකකරු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඉන් අනතුරුවයි.

පසුව පොලිසියේද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග සැකකරු තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ අදාළ සැකකරු ඊයේ දින මොරගහහේන පොලිස් වසමේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වන බවයි.

මෙම ඝාතනය ඩුබායි හි සැඟව සිටින ජයකොඩිගේ තනූජ සම්පත් හෙවත් හෝමාගම හඳයා නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

WhatsApp Group

Skip to content