රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රේගු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

නිලධාරීන්ට ”තුවා” ලෙස ප්‍රකාශ කර පකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී ඊයේ රාත්‍රීයේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි වී නිව්ස් ගුවන්තොටුපොල වාර්තාකරු සදහන් කළේ.

පකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය පසුගිය 10 වැනිදා ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබෙනවා.

මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත එවා තිබු බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ඊයේ රාත්‍රීයේදී මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කරගෙන යාමට කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබෙනවා.

එහිදී මෙම ගුවන් භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 500 ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමටයි හැකි වී ඇත්තේ.

මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කරගෙන යාමට පැමිණි පුද්ගලයා සහ මෙම භාණ්ඩ නිශ්කාශනය කර ගැනීමට තැත් කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකු ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content