නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර දිස්ත්‍රික්ක 6 ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඕපනායක, ගොඩකවෙල, කුරුවිට, ඉඹුල්පේ, වැලිගෙපොල, ඇලපාත, රත්නපුර, ඇහැලියගොඩ, කොලොන්න සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 යටතේ ද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මේ අතර දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14,225 ක් නායයාමේ අධි අවදානම් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා .

නායයාම් හා අපාදා කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ නිවාස 5000ක පමණ ජනතාව ඉවත් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content