පරිසර ගැටලු විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව, එහි මූලික සාකච්ඡාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ දී පසුගියදා (03) පැවැත්විණි.

පාරිසරික ගැටලු කඩිනමින් විසඳීම සහ පරිසර හානි සිදු නොකිරීමට මහජනතාව පෙළඹවීම මගින් ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කිරීම මෙම නව වැඩසටහනෙහි අරමුණයි.

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පරිසරයට හානිකර කටයුත්තක් සිදුවන අවස්ථාවක මධ්‍යම පරිසර අධිකාරියට ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව ක්‍ෂණිකව ක්‍රියා කළ හැකි වැඩපිළිවෙළක් සැකසීමට අවශ්‍ය ප්‍රධාන කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. ඒ අනුව, මූලික අදියරේ දී ප්‍රධාන වශයෙන් ප්‍රජා ඝෝෂා පාලනය; වාහන දුම් පරීක්ෂාව; වාහන නලා ශබ්ද පාලනය; පොලිතීන් මිශ්‍ර කසළ විවෘත පරිසරයේ පිළිස්සීම; නීතියෙන් තහනම් කළ පොලිතීන් වැටලීම්; කැලි කසළ ජල මාර්ග හා තෙත්බිම් ඇතුළු පරිසරයට මුදා හැරීම; සහ නීති විරෝධී කැණීම් හා ගොඩකිරීම් සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොලීසියේ සහය උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහි දී ප්‍රකාශ කළේය. මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව සිදුකිරීමට නියමිත මෙම වැඩසටහන ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මේ සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ කිසිවකු අපහසුතාවට පත් කිරීමට නොව තිරසර පාරිසරික සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා මෙහි දී වැඩිදුරටත් පැවසුවේය.

WhatsApp Group

Skip to content