රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක ප්‍රතිලාභී පවුල් 191,548ක් සහල් සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා තිබේ. අද දින පවුල් දහසකට සහල් බෙදා දීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සහල් මලු ලබාදීම සිදු විය.

මීට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත සහල් බෙදාදීම ආරම්භ කෙරිණි.

WhatsApp Group

Skip to content