76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද සිට ලබන මස 4 වනදා දක්වා කොළඹ කොටුව සහ ගාලුමුවදොර ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව අදාළ දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ පෙබරවාරි මස 03 වනදා පස්වරු 2 සිට, 04 වනදා නිදහස් උත්සවය නිමාවන තෙක් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

බස්රථ සහ සැහැල්ලු වාහන ගාලුපාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ඇතුළු වන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හැරී බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල මන්සන්ධිය, තර්ස්ටන් පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකියි.

එමෙන්ම කොල්ලුපිටිය මන්සන්ධියෙන් දකුණට හරවා ලිබර්ටි වටරවුම, ධර්මපාල මාවත ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කිරීමේ හැකියාවද පවතිනවා.

පිටකොටුව සිට කොළඹින් පිටවන රථ වාහන ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල මන්සන්ධිය, සංඝරාජ මාවත, පංචිකාවත්ත පාර, මරදාන පාලම් හන්දිය, ගාමිණී වටරවුම ඔස්සේ ගමන් කළ හැකියි.

බස්රථ හැර වෙනත් බර වාහන වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතෙන් දකුණට හරවා පරණ හැව්ලොක් පාර, මායා වටරවුම ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content