අප්‍රේල් මස 18 දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අප්‍රේල් මස 18 දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා පසුගියදා (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු බීජ රෝපණය කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.
එහිදී ගෙවතු වගාවන්ට යොදා ගන්නා පැළ මෙන්ම පටක රෝපණ ක්‍රමයට සකස් කරන ලද කෙසෙල් පැළ ද අමාත්‍යවරයා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෝපණය කිරීම් සිදු කෙරිණි.

මෙහිදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් තේ වගාවන්හි පාළු සිටුවීම සඳහා තේ පැළ මිලියනයක්ද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුවක් පැළ මිලියන 1.7ක් ද රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම ඉදිරි කාලය තුළ තමන්ට අවශ්‍ය එළවළු හෝ පළාවර්ග තම ගෙවත්තේ ම වගා කර ගැනීම සඳහා ඵල දරන කුමන හෝ පැලයක් රෝපණය කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මීට අමතරව 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා පූජා කරන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

WhatsApp Group

Skip to content