2024 නව වසරට පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

දහසකුත් එකක් පුද්ගලික අපේක්ෂාවන් සියලු පුද්ගලයන් සතුව තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

පසුගිය වසර පුරා ජනතාව කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට හැකි වූ බවද එහි සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මෙම මාර්ගයේම තවත් ඉදිරියට යා යුතු වන අතර, එය මල් ඇතිරූ සුමුදු මගක් නොව, අභියෝගාත්මක දුෂ්කර ගමනක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

ඒ අනුව වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කර, නව වසර සෞභාග්‍යවත් කර ගැනීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙම නව වසරේ දී හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා යන්න ඒකායන ප්‍රාර්ථනය බව සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ජයග්‍රහණයන්ට වඩා අප්‍රමාණ පරාජයන්ගෙන් සමන්විත වූ වසරක් අවසන් වී නව වසරක් උදා වී තිබෙන බවයි එහි සඳහන් කර ඇත්තේ.

2023 වසර අපට සිතේ සතුටු විය හැකි කිසිවක් නොලද වසරක් වන අතර ජනතාවට ජයග්‍රහණයක සේයාවක්වත් එම වසර තුල හමුවූයේ නොමැති බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැක්කේ විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවන බවයි විපක්ෂනායකවරයා අවධාරණය කරන්නේ.

එබැවින් මූලික අරගලය විය යුත්තේ නව වසරේ නව මැතිවරණයකට මග පාදා ගැනීම බවත්, එසේ නොවන්නේ නම් තවදුරටත් වර්තමාන පාලකයා විසින් වඩා සුරක්ෂිතව රාජපක්ෂවරුන්ව වැල් පාලමෙන් එතෙර කළ තවත් වසරක් බවට 2024 පත් වනු ඇති බවත් එම පණිවිඩයේ සඳහන්.

WhatsApp Group

Skip to content