‘කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුවේය’ යන එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියළු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි ප්‍රාර්තනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දිළිඳුන් සමග වේලක් වළඳන්න යන තේමාව මුල් කර ගනිමින් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අප කිසිදා එම යථාර්ථය අමතක නොකළ යතු බවයි නත්තල වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ නත්තල් සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.

නත්තල උත්සවශ්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස් වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මිකව අප තුළ යහපත් පරිවර්තනයක් සිදු නොවන්නේ නම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇති බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී තිබෙනවා.

අභියෝග රාශියක් සිය කර මතට කඩා වැටුණු සමයක ජනතාව මෙවර නත්තල සමරන බවත්, රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් සිය වගකීම් ඉටු කිරීමට සියලුදෙනාට එක්වන ලෙස ආරාධනා කරන බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර නත්තල වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද නත්තල් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

දෙවියන් වහන්සේ තම පුත්‍රයා මෙලොවට එවීමෙන් අපේක්ෂා කළේ, දේව රාජ්‍යයේ සාරධර්ම යළි මිහිමත ජීවත් කරවීම බවයි එමගින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

බෙදාහදා ගැනීමේ අපූර්ව පාඩම ලොවට කියා දුන් අසිරිමත් නත්තල කිතුණුවන් පමණක් නොව ජාති, ආගම් භේදයකින් තොරව ලෝකවාසී බොහෝ දෙනා එකට එක් ව සමරන බව එම පණිවිඩයේ සඳහන්.

නත්තල ප්‍රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිටවීමේ පණිවුඩය තුළ ජීවත් වුවහොත් පමණක් බවටයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව දැන් වසර කිහිපයක සිට වින්දිතයෙක් ලෙස පාස්කුව හා නත්තල එකට ගෙන අත්විඳින තත්ත්වයකට පත්ව ඇති බවත්, පාස්කු ප්‍රහාරයේ චූදිතයන් හඳුනා ගෙන වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස යළිත් අවධාරණය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content