නවකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා.

ඊට අනුව එංගලන්ත-ඔසටේ‍රලියා අළුබදුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

හිටපු එංගලන්ත නායක ජෝ රූට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. තවදුරටත් එහි පෙරමුණේ පසුවන්නේ නවසීලන්තයේ කේන් විලියම්සන්.

එංගලන්තයේ හැරී බෲක් 09 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඔස්ටේ‍රලියාවේ ස්ටීවන් ස්මිත් තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද, උස්මාන් කවාජා 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

9 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න 11 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් පෙරමුණ තවදුරටත් ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් රැක ගෙන සිටින අතර, පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ් එහි සිව්වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එංලන්තයේ ක්‍රිස් වෝක්ස් 23 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ද, ඔසටේ‍රලියාවේ මිචෙල් ස්ටක් සම 12 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ පාකිස්තානයේ අබ්දුල්ලාහ් ශෆික් පිතිකරුවන් අතර 21 වැනි ස්ථානය දක්වා ස්ථාන 27 කින් ද, මොහමඩ් රිස්වාන් සම 29 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ද, ආගා සල්මන් 35 ස්ථානය දක්වා ස්ථාන 23 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ් ස්ථාන 7 කින් පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට මේ වන විට හිමිව ඇත්තේ සම 37 වැනි ස්ථානයයි.

වමත් දග පන්දු යවන ක්‍රීඩක නෝමන් අලී 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13 කින්.

ටෙස්ට් පන්දු යවන්නන් අතර 7 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය පසුබැස ඇති අතර, ඔහු මේ වන විට 11 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

 

 

 

WhatsApp Group

Skip to content