කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP (Climate Smart Irrigated Agriculture Project) හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ කටයුතු මෙම වසරේ අවසන් වීමට නියමිතව තිබුණ ද  එම ව්‍යාපෘතියේ කටයුතු තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු  බව    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  පසුගියදා (16) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවල තරුණ ගොවීන්ට කෘෂි උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන දිස්ත්‍රික්කවල කෘෂිකර්ම හා වාරිමාර්ග නඟා සිටුවීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල, අම්පාර, කුරුණෑගල, වව්නියාව වැනි දිස්ත්‍රික්කවල කුඩා  වැව් හා ඇළවේලි ප්‍රතිසංස්කරණය සිදු කෙරිණි.

එමෙන්ම එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම සඳහා කෘෂි උපකරණ හා වගා කටයුතු ද ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණය හා දැනුම ද ලබා දෙයි.

මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර ගම්මාන දෙක ආශ්‍රිතව පිහිටුවා ඇති තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානවල තරුණ ගොවින් සඳහා රුපියල් මිලියන 200ක් පමණ වටිනා කෘෂි උපකරණ ලබා දීම පසුගියදා  අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

බිංදු ජලසම්පාදන හා විසිරි ජල සම්පාදන පද්ධති, කෘමි ප්‍රතිරෝධී දැල්, විදුලි වතුර පොම්ප, ලීටර් 1000 ජල ටැංකි, වැහි ආවරණ,විදුලි පඹයා, අඹ ගස් කප්පාදු කිරීමේ උපකරණ,වගා මළු, ගොඩ බීජ වප්කර, පලතුරු පැළවර්ග, සූර්ය බල ජල පොම්ප, වර්ග මීටර් 1000 හරිතාගාර වැනි උපකරණ රැසක් මෙහිදී අමාත්‍යවරයා  ගොවීන් වෙත බෙදා දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා CSIAP ව්‍යාපෘතිය මගින් ලබා දෙන කෘෂි සේවාවන් සඳහා ඉදිරි වසරට රුපියල් මිලියන 8000ක් වැනි විශාල මුදලක් ලබා දීමට රජය තීරණය කරන ලද්දේ දුෂ්කර ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා බව කියා සිටියේය.

මෙම උපකරණ යොදා ගනිමින් වගාවන් සිදු කරන ලෙස උපදෙස් දුන්  අමාත්‍යවරයා ගොවි ජනතාවගේ වගකීම විය යුත්තේ මෙම උපකරණ යොදා ගනිමින් වගා කටයුතු සිදු කර රටට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීම  හා තම පවුලේ ආර්ථිකය ඉහළ නැංවීම බව ද මෙහිදී සඳහන් කළේය.

WhatsApp Group

Skip to content