ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු පිටත්ව ගිව බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.

මෙම සංචාරය සදහා ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශන සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ද එක්ව සිටිනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, පත් කර කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද පත් කර තිබෙනවා .

මේ අතර ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සිංගප්පූරු අග්‍රාමාත්‍ය වරයා , සිංගප්පූරු ආරක්ෂක අමාත්වරයා ඇතුළු පිරිස සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති .

ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතයි .

WhatsApp Group

Skip to content