දීඝවාපි මහා සෑයේ ප්රතිසංස්කරණ කටයුතු වල තවත් එක් අදියරක් ලෙස එහි ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම වර්ෂ 2024 ක් වූ ජූලි මස 14 වන දින අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර ඇත.
මෙම පිංකමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය, දුර බැහැර සිට දීඝවාපිය වෙත පැමිණෙන ජනීජනයා වෙත නවාතැන් පහසුව සැලසීමේ අරමුණින් ඉදිකල සුවිසල් කාමර 20 කින් හා විශාල ප්රමාණයේ ශාලා 4 කින් සමන්විත ‘අති පූජ්ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කොට සම්බුද්ධ ශාසනයට පුජා කිරීම ද මෙදිනට සිදුකිරීමට නියමිතය.
ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාධ්ය සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්රධානත්වයෙන් ජුලි 10 දින කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රධාන සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණ.
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු අති පුජනිය සොළොස්මස්ථාන අතුරින් ප්රමුඛ සිද්ධස්ථානයක් වන දීඝවාපි මහා සෑ රඳුන් ප්රතිස්ථාපනය කිරීමේ අරමුණින් දීඝවාපි චෛත්ය ප්රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමු භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ, ත්රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මෙන්ම සැදැහැති ලක්වාසී ජනිජනයාගේ ශ්රම දායකත්වයෙන් හා මුල්ය ආධාර මත සිදු කෙරෙන දීඝවාපි චෛත්ය ප්රතිසංස්කරණ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇත.
ත්රස්තවාදී ක්රියාකාරකම් හේතුවෙන් දශක තුනක පමණ කාලයක සිට කිසිවකුගේ අවධානයට ලක් නොවී තිබූ අම්පාර දිස්ත්රික්කයේ ලාහුගල පිහිටි නීලගිරි පුදබිමේ ප්රතිසංස්කරණ කටයුතු ද ශ්රී ලංකා ගුවන් හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ගේ ශ්රම දායකත්වයෙන් මේ වනවිටත් සිදුවෙමින් පවතී.
ඊයේ පැවති මාධ්ය හමුවේදී, මෙම චෛත්ය ප්රතිසංස්කරණ ප්රයත්නයේ වත්මන් ප්රගතිය සහ ජුලි 15 වන දින නීලගිරි පුදබිමේ පිළිම වහන්සේලා සුබ මොහොතින් තැන්පත් කිරීම පිළිබඳව කරුණු ද අනාවරණය කරන ලදී.

WhatsApp Group

Skip to content