ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම දිස්ත්‍රික්කයේ මීට පෙර බදුල්ල, සොරණාතොට, කන්දෙකැටිය සහ හාලිඇල යන ප්‍රදේශ සඳහා නිකුත් කර තිබු පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත්, ලුණුගල සහ පස්සර යන ප්‍රදේශ සඳහා නිකුත් කර තිබු දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සඳහාත් පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර,  එම දිස්ත්‍රික්කයේ මීට පෙර පාතහේවාහැට ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ  පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම සහ උඩුදුම්බර සඳහා නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශය සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මොනරාගල දිස්තික්කයේ මැදගම ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත්තේ.

එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ හඟුරන්කෙත යන ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් ද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content