දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(11) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එසේම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමු, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද නිවේදනය සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.දිවයින වටා මුහුදු තීරයේ සුළං තත්ත්වය සැලකීමේදී සුළං ඊසාන දෙසින් හමා එන බවත් සුළං වේගය පැයට කිලෝමීටර් 25ත් 35ත් අතර පමණ විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මුහුදේ ස්වභාවය සැලකීමේදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළ දක්වා පවතින බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට ඒම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට ඒම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

 

WhatsApp Group

Skip to content