වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනය ඇතුලු කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, මගී ප්‍රවාහනයේ නිරතවන ත්‍රිරෝද රථ සංගම් කිහිපයක නිලධාරීන් ඇතුලු සාමාජිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයී අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

වෘත්තිය සංගම් ලෙස තමන් සාමාජිකයන් මුහුණ දෙන පොදු ගැටළු කිහිපයක් පිළිබඳ මෙහිදී ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කළා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධව ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල ක්‍රමවත් කිරීම, දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි ත්‍රී රෝද රථ නියාමනය පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම, ත්‍රිරෝද රථ අමතර උපාංග සවි කිරීම සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමටයි කටයුතු කළේ.

එසේම ත්‍රීරෝද රථ සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධව ජාතික ප්‍රවාහන කොමිසමේ කොමසාරිස් තුමා ඇතුලු නිලධාරීන් සමඟ කඩිනම් සාකච්ඡාවක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිලධාරි වෙත උපදෙස් ලබා දීමද එහිදී සිදු කළා.

WhatsApp Group

Skip to content