ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක පනතක් ගෙන ඒමට රජය සුදානම් වනවා.

එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සදහා කඩිනමින් සකස් කරන ලෙසයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

මේ වන විට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යාවත් කාලීන විය යුතු බැවින් එම කරුණු හා දේශිය ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් පුරවැසි අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ආකාරයට ජාතික ආරක්ෂක පනත සකස් කෙරෙනු ඇති.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගෙන් සම සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් විසින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා නව පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.

මේ අතර වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා ක්‍රියාකාරී කමිටුව පිහිටුවා ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන්.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා විසින් කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව අනුකමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content