රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

රටේ ආර්ථිකය යළි ගොඩ නැගීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සුබ ආරංචිය මේ වන විට ලැබී තිබෙනවා. ඉකුත් ජූනි මස 26 වනදා පැරිසියේ දී ද්වී පාර්ශ්වික ණය හිමියන් ලෙස නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සමඟ එකඟතාවන්ට පැමිණීම මෙන්ම ගිවිසුම්ගතවීම ද සිදු වුණා. ඒ වගේම එදිනම චීන එක්සිම් බැංකුව සමඟ ද එකඟතාවන්ට පැමිණ ගිවිසුම්ගතවීම සිදු වුණා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් අප විසින් සම්පූර්ණ කර තිබෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාවේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක තිබෙනවා. එහෙත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුබවාදී ලෙස දැකීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. රටක් ලෙස මෙය ඉතාමත් කණගාටුදායක කාරණයක් බව පැවසිය යුතුයි. අප පළමුව සිතා සිටියේ අප විසින් සිදුකළ කාර්යය පිළිබඳව ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශයන් ඒ සම්බන්ධයෙන් වන අනවබෝධය නිසා සිදුකරන්නක් බවයි.

WhatsApp Group

Skip to content