ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන මෙතෙක් පැවැති රුපියල් 500ක ගාස්තුව රුපියල් 1000ක් විය යුතු බවටයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ජාතික හැඳුනුම්පතක් පිළිබඳ විස්තරවල සත්‍යතාවය සහතික කිරීම සඳහා වූ ගාස්තුව ඒ සඳහා වන ඉල්ලීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 25ක් ලෙසත් ඒ සඳහා වන ඉල්ලීම, භෞතික ලේඛනයක් මගින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අදාළ ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර තිබෙනවා.

මීට අමතරව ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගන්නා ඡායාරූප ශිල්පියෙකු හෝ ඡායාරූප ශාලාවක් ලියාපදිංචිය සඳහා මෙතෙක් අය කරන ලද රුපියල් 10000ක ගාස්තුව රුපියල් 15000ක් විය යුතු බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම එම ලියාපදිංචි සහතික යළි අලුත් කිරීම සඳහා වූ වාර්ෂික ගාස්තුව ලෙස මෙතෙක් පැවැති රුපියල් 2000ක මුදල රුපියල් 3000ක් විය යුතු බවටද අදාළ ගැසට් නිවේදනය මගින් නියෝග කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්දැක්වේ.

WhatsApp Group

Skip to content