කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවා මාලාවේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජූනි මස 14 හා 15 දෙදින හලාවත, ෂර්ලි කොරෙයා ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි මස 14 දින පැවැත්වීමට නියමිතය.

එම අමාත්‍යාංශය යටතේ පවතින තවත් ආයතන සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ජංගම සේවාවේ ප්‍රධාන සහභාගිත්වය සිදුකරයි.

මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කොට තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට හා පාසල් උපකරණ බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලබාදීම, සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන ශ්‍රමිකයින් ඇගයීමට ලක්කිරීමටද නියමිතය.

එසේම ආබාධිත විගමණික ශ්‍රමිකයින් සඳහා ඇස් කණ්ණාඩි හා රෝද පුටු ඇතුළු වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමටද නියමිත අතර, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් සඳහා පන්ති කාමරවලට අවශ්‍ය Smart Board පිරිනැමීටද කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමට හා පුත්තලම දිස්ත්‍රික්කයේ මාධ්‍ය සංසදය පිහිටුවීමටද නියමිතය.

WhatsApp Group

Skip to content