සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රජය වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීමේ දී මහා සංඝරත්නය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරුණු භික්ෂු සම්බන්ධීකරණ ඒකකය තෛන්‍රිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ විවෘත කෙරිනි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ඒකකය විවෘත කෙරිණි.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ රට මුහුණ දී තිබෙන ආර්ථික, සමාජයීය මෙන්ම සංස්කෘතික අභියෝග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම හිමි වන බවයි. මහා සංඝරත්නය සහ පාලන තන්ත්‍රය අතර සබඳතා ශකිත්මත් කිරීමට මෙම නව භික්ෂු මධ්‍යස්ථානය ඉවහල් වනු ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරංපනාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ ද මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් සඳහන් කර සිටියේ ශාසනික වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන යුගයක ඒ වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම අත්‍යාවශ කරුණක් බවයි. ඒ අනුව මෙම නව භික්ෂු මධ්‍යස්ථානය විවෘත කිරීම ඉතා කාලෝචිත පියවරක් බව පෙන්වා දුන් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනු ලබන කැපවීම ප්‍රශංසාවට ලක් කළහ.

WhatsApp Group

Skip to content